පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් පිලිබඳ කෙරෙන පරික්ෂණයන් ඉහල දැමීමට සහ ඒ මගින් බිහිවන සොයාගැනීම ලෝකයට වැඩදායි ලෙස භාවිත කිරීම සඳහා අවශ්‍ය වන මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා ලෝකයේ සිටින සුපිරිම ධනවතුන් දැන් එකතුවී තිබෙනවා. Microsoft නිර්මාතෘ Bill Gates ගේ අදහසක් අනුව මෙම මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා විශාල අරමුදලක් ආරම්භ කර තිබෙනවා. මෙම අරමුදල නම් කොට තිබෙන්නේ  Breakthrough Energy Coalition ලෙසයි

මෙමෙ අරමුදලට දායක වීමට නියමිත අනෙකුත් පිරිස අතර Facebook නිර්මාතෘ Mark Zuckerberg මෙන්ම Alibaba වෙළඳ ජලයේ නිර්මාතෘ Jack Ma පෙරමුණ ගන්නවා. මිට අමතරව ලෝකයේ ඉහලම පෙලේ ධනවතුන් 30 දෙනෙක් පමණ මේ ක්‍රියාවලියට සමබන්ධවීමට කැමැත්ත පළකර තිබෙනවා. මේ පිලිබඳ  නිවේදනය කොට තිබෙන්නේ පැරිසියේ පැවති  එක්සත් ජනිත්න්ගේ පාරිසරික සමුළුවෙදියි. මෙම අරමුදලේ ආරම්භක විශාලත්වය ඩොලර් බිලියන ගණනක් වනු ඇති.

ලෝකයේ බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩිම කොටසක් ලැබෙන්නේ කාබන් ආශ්‍රිත බලශක්ති දහනය කිරීමෙන්, ගල් අඟුරු, පෙට්‍රෝලියම් ඉන්දන මේ අතරින් ප්‍රමුක ස්ථානයක් ගනු ලබනවා. මෙම කාබන් ආශ්‍රිත බලශක්ති ප්‍රභව නිර්මාණය වීමට වසර මිලියන ගණනක් ගතවෙනවා.  දිනෙන් දින ඉහල යන බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීමට අපට ඇත්තේ සීමිත බලශක්ති ප්‍රභව ප්‍රමාණයක්. ඒවත් දිනෙන් දිනම ක්‍ෂය වෙමින් යනවා. මේ හේතුව නිසා කාබන් ආශ්‍රිත බලශක්ති ප්‍රභව වල මිල දිනෙන් දින ඉහල යන අතර එය ලෝකයේ බලශක්ති අවශ්‍යතාව නොකඩවා සපුරාලීමට විශාල බාධාවක් වෙනවා.

මෙලෙස කාබන් ආශ්‍රිත බලශක්ති ප්‍රභව වල මිල ඉහල යාම නිසා වැඩි වශයෙන් ගැටලුවට පත්වන්නේ ඌන සංවර්ධිත රටවල වෙසන ජනතාවවයි. බලශක්ති ප්‍රභව වල මිල ඉහල යන විට ඔවුන්ගේ රටවල ආර්ථිකයන්ට අකණ්ඩ බලශක්ති සැපයුමක් ලබාදීමට නොහැකි වෙනවා. මේ නිසා අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය වැනි අත්‍යවශ්‍ය කරණා බොහොමයක් මෙවන් රටවල අඩාල වීමට පුළුවන්.

කාබන් ආශ්‍රිත බලශක්ති ප්‍රභව වල ඇති මීලග ගැටලුව වන්නේ ඒවා දහනය වීම නිසා ඇතිවන කාබන්ඩයොක්සයිඩ් වායුව මගින් පෘථිවි උෂ්ණත්වය ඉහල යාම නිසා අනපේක්ෂිත ස්වභාවික විපත් ඇතිවීමයි. මේවා ගෙන්ද වැඩිපුර ගැටලුවට පත්වන්නේ ඌන සංවර්ධිත රටවල ජනතාවයි. මන්ද මෙවන් ස්වභාවික විපත් නිතර නිතර ඇතිවීම ඒ රටවල ආර්ථිකයට අහිත කර ලෙස බලපෑම් කිරීමයි.

මේ සියල්ලටම ඇති හොඳම විසඳුම වන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කරා ලෝකයම යොමුකිරීමයි. නමුත් අදට පවතින තාක්ෂණයෙන් මෙමෙ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින ශක්තිය උකහා ගැනීමේ කාර්යක්ෂමතාව ඉතා අඩුයි. ලෝකයේ සුපිරි ධනවතුන්ගේ එකතුවෙන් තැනෙන මේ අරමුදලේ මුලික පරමාර්ථය වන්නේ මෙලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් වඩා කාර්යක්ෂමව ශක්තිය ලබාගත හැකි ක්‍රමවේදයන් සොයාගැනීම උදෙසා සිදුකෙරෙන පරීක්ෂණ වලට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමටයි.

මෙම ක්‍රියාව සාර්ථක වුවහොත් වසර ගණනාවක් පුරා බොරතෙල් මත ලෝකය පාලනය කල මිනිසුන්ගේ යුගය නිමාවට පත්වනු ඇති. ඒ වෙනුවට පරිසර හිතකාමී බලශක්ති ප්‍රභව ලෝකය පුරා පැතිරුණු ඇති අතර ලෝකයේ බහුතරයක් මිනිසුන් තමන්ට අවශ්‍ය මට්ටමට බලශක්තිය ඉතා ලාභදායි ලෙස ලබාගැනීමට ඇති හැකියාවද වැඩිදියුණු වෙනු ඇති

793 Total Views 1 Views Today

Comments

comments